Saturday, November 9, 2013

අපි තුන්දෙනාටම අපි නැතුව ඉන්න අමාරුයි - දිනක්ෂි

http://www.rivira.lk/edition/images/2013/11nov/10/dinak.jpg‘වසරේ ජනප්‍රියම නිළිය සඳහා වන ජනතා සම්මානය දිනා ගන්නේ.. දිනක්ෂි ප්‍රියසාද්’ මෙවර සුමති සම්මාන රාත්‍රියේදී ජනප්‍රියම නිළිය වන්නට වරම් ලබපු දිනක්ෂි වේදිකාවට 
ගෙන්වපු වචන ටික තමයි ඒ.

සුපුරුදු සිනහවත් එක්ක වේදිකාවට ආපු දිනක්ෂි ජනප්‍රිය සම්මානේ අතට ගනිද්දී දිනක්ෂි තරමටම සමහර විට ඊටත් වඩා සිනහ වෙච්ච, සතුටු වෙච්ච තවත් හතර දෙනෙක් හිටියා. ඒ තමයි දිනක්ෂිගේ තාත්තා දිනේෂ් ප්‍රියසාද්, අම්මා  ශිරානි ප්‍රියසාද් වගේම ශේෂාද්‍රි සහ ශනුද්‍රි නංගිලා දෙන්නා. මේ සතුට පිරුණු මුහුණු බලන්න අපි ‘ප්‍රියසාද්’ කැදැල්ලට ගොඩ වුණේ වැඩි දවසක් ගතවෙන්න කලින්.

දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි සිනහ පිරුණු මුහුණුවලින් අපිව පිළිගනිද්දී අපි මුලින්ම කළේ දිනක්ෂිට සුබ පතපු එක.

“ජනප්‍රිය නිළියට අපෙන් සුබ පැතුම්.”
අපේ සුබ පැතුම ආදරෙන් පිළිගත්තු දිනක්ෂි කතා කරන්න පටන් ගනිද්දීම අම්මාත්, තාත්තත් එතැනට ආවා.

“ගොඩක් සතුටු ඇති” අපි කතාව එතැනින්ම පටන් ගත්තා.“මම ජනප්‍රිය නිළිය වෙන්න ඕනමයි කියලා හිතුවේ නැහැ. මම දැනගෙන හිටියා මම මුල් පස්දෙනා අතරේ ඉන්නවා කියලා. ජනප්‍රියම නිළිය වෙන්න පුළුවන් වුණු එක ගැන ගොඩක් සතුටුයි.”“අක්කිට සම්මානේ හම්බ වුණාට තවම අපිට මුකුත් හම්බ වුණෙත් නැහැ” ශේෂාද්‍රි එහෙම කිව්වේ දිනක්ෂි කතාව ඉවර කරන්නත් කලින්.“සම්මානේ අරගෙන ගෙදර ආපු වෙලාවේ ඉඳලා ඕක තමයි අපේ ගෙදර වැඩිපුරම ඇහුණේ.” එහෙම කිව්වේ අම්මා.

“පුංචි පාටියක් දුන්නා නම් හරිනේ” මම එහෙම කිව්වේ දිනක්ෂිගෙන් උත්තරයක් දැන ගන්නත් එක්ක.
“මම පාටිවලට එච්චර කැමැති කෙනෙක් ‍නෙවෙයි. හැමෝම ඒක දන්නවා. අනිත් එක මොනවා කරන්නත් මට මේ දවස්වල වෙලාව අඩුයි. කරන්න පටන් ගත්ත වැඩ නිසා ගොඩක් වෙලාවට ගෙදර නැහැ. මේ වැඩ ටිකක් ඉවර වුණාම මොකක් හරි කරන්න ඕන. පුංචියට පාටියක් දෙන්න බලනවා.”

“ඔය අක්කිගේ හැටි. එයා වැඩිය කැමැති නැහැ පාටිවලට. ඒ නිසා මමත් කිව්වා යාළුවොත් ගෙන්නලා රෑ කෑමක් හරි දෙමු කියලා” අම්මා එහෙම කිව්වේ දිනක්ෂිගේ පැත්ත ගන්න ගමන්.“කාගෙන් බේරුණත් අපෙන් බේරෙන්න බැහැ” නංගිලා දෙන්නාම එහෙම කිව්වේ දිනක්ෂිගේ පැත්තට හැරිලා.“අපිත් මහන්සි වුණා අක්කිගේ සම්මානෙට” ශේෂාද්‍රි එහෙමත් කිව්වා.

“ඒ කොහොමද?” ශේෂාද්‍රිගෙන් මම ඇහුවේ ඒ කියපු දේ නිසා.
“අපිත් අක්කිට එස්.එම්.එස්. යැව්වා. එක ෆෝන් එකකින් යවන්න පුළුවන් එස්.එම්.එස්. ලිමිට් එකක් තිබුණේ නැහැනේ. ඒ නිසා මමයි, අම්මියි එස්.එම්.එස්. ගොඩක් යැව්වා. තාත්ති තමයි එක එස්.එම්.එස්. එකක් විතරක් යැව්වේ” ශේෂාද්‍රි එහෙම කිව්වේ තාත්තා දිහා බලන ගමන්.

“ඒ මගේ ප්‍රතිපත්තිය. මම මගේ ෆෝන් එකෙන් යැව්වේ එක එස්.එම්.එස්. එකක් විතරයි. මම කිව්වේ ලැබෙනවා නම් ඔය සම්මානේ කොහොමත් ලැබෙනවා කියලා” තාත්ති, දිනේෂ් ප්‍රියසාද් ශේෂාද්‍රිගේ චෝදනාවට උත්තර බැන්දා.
“තාත්ති අපි කාට වුණත් එහෙමයි. ගිය පාර ඩාන්සින් ස්ටාර්වල ශේෂාද්‍රිට එස්.එම්.එස්. යවන්න තිබුණු වෙලාවෙත් තාත්ති යැව්වේ එකම එක එස්.එම්.එස්. එකයි” දිනක්ෂි කතා කළේ තාත්තිගේ පැත්තට.

මේ කතා කරන අතරෙත් තාත්තා ළඟින් වාඩි වෙන්න තුන්දෙනාගේ තිබුණේ පුදුම උනන්දුවක්. හේතුව වුණේ අපේ කැමරාව ආදරණීය පින්තූරයක් ලබා ගැනීම වෙනුවෙන් සූදානම් වෙලා තිබිම. පුංචි ආදරණීය තල්ලු කර ගැනීම්, කොනිත්තා ගැනීම්වලින් ඒ මොහොත පිරිලා තිබුණා.

“කොහොමද මේ දඟ මලු තුනත් එක්ක ගෙදර ඉන්නකොට?” ඒ හැමදේම බලාගෙන හිටපු මම ඇහුවේ අම්මගෙන්.
“ලොකු අක්කි පුංචි කා‍ලේ ඉඳලාම ටිකක් නිශ්ශබ්දයි. වැඩි දැඟලිලි නැහැ. ශේෂාද්‍රි තමයි ටිකක් වැඩිපුර දඟ වුණේ. ඒත් දැන් එයත් ලොකුයිනේ. දැන් දඟකාර ගති ටිකක් අඩුයි. දැන් ඉතින් චූටි නංගි ශනුද්‍රි තමයි වැඩිය දඟ. හැබැයි එයත් මේ දවස්වල ටිකක් දඟ අඩු කරලා. මේ අවුරුද්දේ ඕලෙවල් ලියනවානේ” අම්මා එහෙම කියද්දී තුන්දෙනා තුන්දෙනාට නොයෙක් දේ කියා ගත්තා. අම්මා කොහොම කිව්වත් තුන්දෙනාගේම දඟකාර ගති අඩුවක් නැතුව තියෙනවා කියලයි මට නම් හිතුණේ.

“තුන්දෙනාම ගෙදර ඉන්න වෙලාවට මොනවාද කරන්නේ?” මම ඇහුවේ කාගෙන් හරි උත්තරයක් බලා‍පොරොත්තුවෙන්. උත්තර දුන්නේ දිනක්ෂි.
“අපි රණ්ඩු වෙනවා. සින්දු දාගෙන නටනවා. කෑගහනවා. රණ්ඩුවෙලා මම වැඩිපුර බැණුම් අහනවා. නැත්නම් තුන්දෙනා එක්ක කොහේ හරි යනවා. ෂොපින් යනවා, ෆිල්ම්ස් බලන්නත් යනවා. හැබැයි අපි ෂොපින් ගියාට මොකුත් ගන්නේ නැහැ. ගොඩක් වෙලා ඇවිදලා ආපහු එනවා. එහෙම ගියාම මගදී හම්බවෙන අය ෆොටෝ ගන්න එහෙම කතා කරනවා. එහෙම වුණාම හරි සතුටුයි. මොකද හැමෝටම ඒ වගේ අවස්ථාවක්, සතුටක් ලබන්න බැහැනේ.” දිනක්ෂි එක දිගටම කතා කළා.

“ඇයි දිනක්ෂි වැඩිපුර බැණුම් අහන්නේ?” කියලා මම අහද්දිම උත්තරේ ලැබුණේ නංගිලා දෙන්නාගෙන්.
“එයා ලොකු අක්කනේ” දෙන්නම ටිකක් කෑගහලා කිව්වා.

“තුන්දෙනාගේ දඟ වැඩවලට අම්මාට තරහා යන්නේ නැද්ද?”
“අ‍පෝ අපේ අම්මි සැරයි. තාත්තිවත් එච්චර සැර නැහැ. අම්මිට තරහා ගිහින් ඉන්න වෙලාවට අපි මොනවා කළත් බැණුම් තමයි. හැබැයි අපේ අම්මි අපේ හැමදේටම අපේ ළඟින්ම ඉන්නවා. හැමදේම හොයලා බලලා කරලා දෙනවා. හරිම හොඳයිත් එක්ක. හැබැයි තරහා ගියාම නම් ඉතින් හරි සැරයි” දිනක්ෂි එහෙම කියාගෙන අම්මා ළඟට ගිහින් වාඩි වුණේ හරිම ආදරණීය විදිහට.

“මේ තුන්දෙනාගේ එකමුතුකම ගැන අම්මටයි, තාත්තාටයි සතුටු ඇති” කියලා කිව්වාම අම්මා ආයෙත් කතා කළා.
“ඇත්තටම තුන්දෙනා හරි එකතුයි. තුන්දෙනාට තුන්දෙනා නැතුව බැහැ. කොච්චර රණ්ඩු වුණත් හැම වෙලාවෙම තුන්දෙනා, තුන්දෙනා ගැනම බලනවා. එක්කෙනෙක් හරි මොනවා හරි ගත්තොත් පව්නේ අම්මා අක්කි, පව්නේ, අම්මා නංගි කියලා තුන්දෙනාටම ගන්නවා. තුන්දෙනාගේ ඇඳුම් මහන්නේ මම. ලොකූ තමයි ඇඳුම් ඩිසයින් කරන්නේ. එක එක තැනට අනුව තුන්දෙනා කතා කරලා තමයි ඇඳුම් තෝරා ගන්නේ.”“අම්මි කියන්නේ ඇත්ත. පහුගිය කා‍ලේ මට කටුනායක යන්න වුණා. ට්‍රේනිං එකකට. ඒකට යන්න අම්මියි, තාත්තියි මාව එක්කගෙන ගිහින් දන්න ගෙදරක නතර කළා. ඒ නතර කරලා ආවාට පස්සේ මට ලොකු තනිකමක් දැනුණා. මම හොඳටම ඇඬුවා. මට ගෙදර අය නැතුව ඉන්න බැරි වුණා. ඇත්තටම අපි තුන්දෙනාට අපි නැතුව ඉන්න අමාරුයි” අම්මාගේ කතාව අහගෙන හිටපු දිනක්ෂි එහෙම කිව්වේ නම් ටිකක් දුකෙන්.

“ඒ වුණාට දුවලා තුන්දෙනාටම කවදා හරි ගෙදරින් යන්න වෙනවානේ” කියලා මම කියපු දේ වැරදිද කියලා මට හිතුණේ තුන්දෙනාගේ විතරක් ‍නෙවෙයි අම්මා, තාත්තාගේ මුහුණුවලටත් දුකක් එකතුවුණු නිසා.“මට පුතෙක් හම්බ නොවුණු එක ගැන මම කවදාවත් දුක් නොවුණේ මට හොඳ පුතාලා තුන්දෙනෙක්ම හම්බ වේවි නේද කියලා හිතලා. මම දන්නවා මම හිතන දේ හරි යාවි කියලා. කවදා හරි ඒ හැමෝම එකතුවෙලා අපිව බලා ගනීවි. ඒ ගැන හිතලා සතුටු වෙනවා. ඒත් තාම නම් දිනක්ෂි ගැනවත් අපි ඒ වගේ දෙයක් හිතලා නැහැ” ටිකක් වෙලා කතා නොකර හිටපු අම්මා එහෙම කිව්වා.

“අක්කලා දෙන්නාට කවුරු හරි විවාහ යෝජනාවක් කළොත් මොකද කරන්නේ?”ඒකට නම් හැමෝටම ටිකක් හිනා ගියා. දිනක්ෂිගෙනුයි, ශේෂාද්‍රිගෙනුයි නම් පෙනුණේ ටිකක් ලජ්ජාව පිරුණු හිනාවක්. ඒ හිනාවත් එක්කම දිනක්ෂි කතා කළා.
“ශේෂාද්‍රිගෙන් කවුරුහරි ඇහුවොත් එයා ඇවිත් මට කියනවා. මගෙන් ඇහුවොත් මම එයාට කියනවා. ඊට පස්සේ අපි දෙන්නා කතා වෙනවා ඒ ප්‍රශ්නේ කියන්න හොඳම කෙනා අම්මිද, තාත්තිද කියලා. එහෙම කතාවෙලා ප්‍රශ්නය විසඳන්න හොඳම කෙනා කියලා හිතෙන කෙනාට කියලා ප්‍රශ්නය විසඳා ගන්නවා.”

“දුවලා තුන්දෙනාම රඟපාන්න යනවාට අම්මා කැමැති වුණාද?” ටිකක් වෙනස් දෙයක් මම අම්මාගෙන් ඇහුවා.
“නටන්න, සින්දු කියන්න වැඩිපුර කැමැත්තක් තිබුණේ ‍පොඩි දුවයි, චූටි දුවයි. ඒත් මම තමයි කිව්වේ දිනක්ෂි රඟපෑම පැත්තෙන් ඉස්සරහට යාවි කියලා. ‍පොඩි කා‍ලේ ඉඳලාම මම තුන්දෙනාගේ දක්ෂතා දැක්කා. ඒ නිසා මම කැමැති වුණා තුන්දෙනාම රඟපානවාට. දැන් නම් ඒවා බලද්දී හරියට ආසා හිතෙනවා. තාත්ති වගේ රඟපෑම්වල අඩුපාඩු කියලා දෙන්න මට තේරෙන්නේ නැහැ. ඒත් තුන්දෙනාගේම රඟපෑම් හරිම ආසාවෙන් බලනවා.”

“තාත්තා ක්ෂේත්‍රයේම කෙනෙක් නිසා රඟපෑම් කටයුතුවලට ‍ලේසිද?” මම ඇහුවේ අක්කලා, නංගිලා තුන්දෙනාගෙන්. උත්තර දුන්නේ දිනක්ෂි.“තාත්ති ක්ෂේත්‍රයේ කෙනෙක් වුණා කියලා ලොකුම ලොකු වෙනසක් නැහැ. කොහොමත් අම්මියි, තාත්තියි අපිට කියලා දීලා තියෙනවා තැනකට ගිහින් ඉන්න විදිහ, වැඩ කරන විදිහ, අනෙක් අයව ආශ්‍රය කරන විදිහ ඒ හැමදේම. ඒ නිසා ප්‍රශ්න ඇති නොවන්න වැඩ කරන්න අපිට පුළුවන්. ඒ නිසා තාත්ති ක්ෂේත්‍රයේ වීම ලොකු වෙනසක් නැහැ. අපි ගොඩක් ඉන්නේ තාත්තිගේ නිර්මාණවල තමයි. ඒත් අපි තුන්දෙනාම දාලා නම් තාත්ති තවම නිර්මාණයක් කරලා නැහැ. මෙහෙම කිව්වාම තාත්තිට එහෙම අදහසක් එයිද දන්නේ නැහැ” දිනක්ෂි හිනා වෙවී කියපු ඒ කතාවත් එක්කම අලුත් බලා‍පොරොත්තුවක් තිබුණා කියලයි මට හිතුණේ. කොහොම වුණත් ආදරය පිරුණු ඒ කැදැල්‍ලේ ගොඩක්වෙලා ගත කරපු නිසා අපිට ආපහු එන්නත් වෙලාව ඇවිත් තිබුණා.ජනප්‍රිය නිළිය වුණු දිනක්ෂිට වගේම ශේෂාද්‍රිටත්, ශනුද්‍රිටත් සුබ පතන ගමන්ම අපි ආපහු එන්න හැරුණේ ඒ නිසා.
නෙලූෂා සිල්වා
ඡායාරූප - චමිල කරුණාරත්න
BY:Rivira
http://www.rivira.lk/edition/images/2013/11nov/10/dftg.jpg
http://www.rivira.lk/edition/images/2013/11nov/10/dins.jpg
http://www.rivira.lk/edition/images/2013/11nov/10/dinukshi.jpg
http://www.rivira.lk/edition/images/2013/11nov/10/dinus.jpg
http://www.rivira.lk/edition/images/2013/11nov/10/dinakse.jpg
http://www.rivira.lk/edition/images/2013/11nov/10/group.jpg

BY:Rivira

No comments:

Post a Comment